ගුටි කෑමේ සමීක්ෂණය

මේ දවස්වල සිද්ධ වන්නේ හරි අපූරු දේවල් ය. ඒවා කොතරම් අපූරුද කිවහොත් දියේ ගිලෙන එකා පිදුරු ගසෙත් එල්ලෙනවා යන කියමන සිහියට එන්නේ සානුකම්පිත උපහාසයකුත් සමඟ ය. කෙසේ වුවත් උතුම් වූ අංගම්පොර ශාස්‍ත්‍රයේ නාමයෙන් අපි මියයන්නට ආසන්න මෙවන් ආතුරයන්ට නම් කිරි පෙවීමට සූදානම් නැත. මන්ද පොඩි වුණත් ලොකු වුණත් නයා නයාමය.

රිවිර පුවත්පතට අදහස් ප්‍රකාශ කරන රිටිගල සුමේධ (ඇ)දුරා කරන කුඩා ප්‍රමාණයේ එන්නත් කර ගැනීමේ උත්සාහය ගැන යමක් සඳහන් කළ යුතු නිසා මේවා කියනවා විනා ඔහුගේ දියුණුවට ඊර්ෂ්‍යා කිරීමක් නම් නොවේ. "දුටුගැමුණු, වල ගම්බා යන අපේ රජවරුන් රිටිගලින් සටන් පුහුණුවී සතුරන් පරදා ජය අත්පත් කරගත් බව ඉතිහාසයේ සඳහන් ය". තම පියාට විරුද්ධ වී කුඩා කල සිට රුහුණේ සිටි ගොම්බෙටි හිද්දලයා නම් අන්වර්ත නාමයකට උරුමකම් කී ගැමුණු කුමාරයා අනුරාධපුරයේ තිබෙන සටන් පාසලකට ගියේ ඍද්ධි බලයෙන් විය යුතු ය.
යසෝ මැණිකේ ජයනෙත්ති
මහා කළු සිංහලයා පලා යනවෝ යයි ගිරි නිගන්ඨයා ගෑ ගසද්දී දෙමළුන්ට පැරදුන වලගම්බා රජු අනුරාධපුරය දමා පලාගියේ රිටිගල අංගම්වල ඇති හාස්කම් නිසා විය යුතුය. එතුමන්ට පසුව රුහුණෙන් සේනා සංවිධානය කිරීමට සිදු වූයේ අනුරාධපුරයට ආසන්නයේ පිහිටි රිටිගල අංගක්කරුවන්ගේ ශක්තිමත් භාවය මදි නිසා විය යුතු ය. කිව යුත්තේ සරළ දෙයකි. බයිලා කීවේ ද බයිලා ඇසුවේද ග්‍රැමර් ෆෝන් යුගයේදී බව ය. දැන් දැන් ඒවා ටිකක් අමාරු ය. කෙසේවෙතත් සුමේධට මේ කියමන සම්බන්ධයෙන් කරනුයේ එක් අභියෝගයක් පමණි. ඔබ කියනා පරිදි මෙම රජවරුන් දෙදෙනා එවන් වූ සටන් පාසලකින් උගෙන ඇති නම් ඒ බව එක් පුරාවිද්‍යාත්මක හෝ සාහිත්‍යාත්මක සාධකයකින් ඔප්පු කරන ලෙස අපි අභියෝග කරමු.

"පරම්පරාවෙන් උරුම වූ රිටිගල අංගම් හරඹයට උරුමකම් කියන රිටිගල සුමේධ" මේ දිනවල තිරගත වන ගාමනී චිත්‍රපටයේ රඟපාන බව මෙම ලිපියේ කියවේ. එයට අනුව ඔහු පරම්පරාවෙන් උරුමවූ අංගම්පොර ශිලිපියෙකි. නමුත් ස්වර්ණවාහිණියට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කරන්නේ තමන්ගේ ගුරුතුමියගේ පරම්පරාවෙන් තමන්ට ලැබුණ බවයි. අප දන්නා පරිදි නම් පාරම්පරික යන වචනයේ තේරුමට අනුව තම පරම්පරාවෙන් එය ලැබිය යුතු ය. ඒ කියන්නේ යසෝ මැණිකේ ජයනෙත්තිගේ පරම්පරාව ගැන ය. අංගම් යනු වෛද්‍ය ශාස්ත්‍රය සමග දැඩි සේ බද්ධ වූවක් ‍වන අතර සෑම අංගම් ප්‍රවීණයෙක්ම හෙළ වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රවීණයෙකි. නමුත් යසෝ මැණිකේ මිය යන්නේ දිය වැඩියාවෙනි. දියවැඩියාවට බෙහෙත් නොදන්නා අංගම්පොර කරුවන් සිටින්නේ ලංකාවේ නම් විය නොහැකි ය. අනෙක් කරුණ ඖනෑම සටන් අභ්‍යාසයක් කරන පුද්ගලයෙකුට කිසිවිටෙකත් දියවැඩියාව සෑදිය නොහැකි බව බත් කන ඕනෑම මිනිසෙකුට තේරෙන කතාවකි. මන්තර ශාස්ත්‍රය පමණක් දැන සිටි යසෝ මැණිකේ ජයනෙත්ති යනු සුමේධ පවසන පරිදි ඔහුගේ ගුරුවරිය වුවත් අපි දන්නා පරිදි නම් සුමේධගේ හිටපු නගර සෝභිණියයි. සිංහලෙන්ම කිව්වොත් සුමේධ සමඟ අනාචාරයේ හැසිරුණ කාන්තාවයි. කෙසේවෙතත් පහත වීඩියෝව හොඳින් බැලූ විට කරුණු රාශියක් ගොණු කර ගත හැකි ය.

මෙම වීඩියෝවේදී සුමේධ කියනුයේ තමන් දන්නා අංගම්‍සටනේ ඌරා ළිඳක් නැති බවත් ඉලංගම්මඩුවක් නැති බවත් ය. සුමේධට ඇත්තේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන අංගම් ක්‍රමයකි. ඒ දේශගුණය නිසාලු. ඒ කියන්නේ අනුරාධපුරයේ රස්නය වැඩි නිසා ඌරා ළිඳක් හෑරීමට අපහසු නිසා විය යුතු ය. නොමැතිනම් ඌරා ළිඳ මඩ කිරීමට වතුර නැති නිසා විය යුතු ය. ඉලංගම් මඩුවක් නැති වූයේද මඩුවක් සෑදීමට ලී දඩු අනුරාධපුරයේ කැලෑවල නැති නිසා විය යුතු ය. කටු මැටි ගැසීමට හා ඉලුක් සෙවිලි කිරීමට නොදන්නා නිසා විය යුතු ය.

ඌරා ළිඳ ගැනනම් කිව යුත්තේ ඉතිහාසාත්මක නාට්‍ය කෘතියක් වන අකාල සන්ධ්‍යා නාට්‍ය නැවත බලන ලෙසයි. එහි සඳහන් වන්නේ කෑගලු පුරවරයේ සිටි මරුවල්ලිය කුමාරිහාමී නැමති දිසාපතිනිය ගැන ඇත්ත කතාවකි. එහි ඌරා ළි‍ඳේ සටන් කිහිපයක්ම ඇතුළත් වේ. ‍ප්‍රදේශයෙන් ප්‍රදේශයට අංගම් වෙනස් වූවානම් එය නැටුම් මෙන් වෙන වෙනම නම් වලින් ඉතිහාසයේ හඳුන්වා තිබිය යුතුය. උඩරට නැටුම් හා පහතරට නැටුම් තිබෙනවා මෙන් රජරට අංගම්, මායාරට අංගම් ආදී නම් ඉතිහාසයේ භාවිතා වී තිබිය යුතු ය. නමුත් කිසිඳු ඉතිහාසාත්මක හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂියක එවැන්නක් නැත. එසේම කිසිඳු අංගම් කැටයමක වූෂූ ඇඳුම් ඇඳගත් හෝ දෙමළ වේට්ටිය හැඳගත් අංගක්කරුවෝ නැත.

පසුගිය කාලයේ වූෂූ ඇඳුම් ඇඳගෙන අංගම් පෙන්වූ සුමේධ දැන් දැන් දෙමළ වේට්ටියක් අඳින නිසා අපට නම් හිතෙන්නේ සුමේධගේ අංගම් ප්‍රදේශ‍යෙන් ප්‍රදේශයට පමණක් නොව කාලෙන් කාලෙටද වෙනස් වන බවයි. එසේම දේශගුණික සාධක ඒකට බලපා ඇති නිසා මීට වසර 5කට පමණ පෙර අනුරාධපුරය නුවරඑලිය මෙන් සීතල විය යුතු අතර දැන් දැන් රස්නය වැඩි විය යුතු ය. මන්ද එදා මුළු ඇඟම ආවරණය වූ වූෂූ ඇඳුම ඇන්දේ සීතල නිසාත් උඩු කය නිරුවත් දෙමළ වේට්ටිය අඳින්නේ රස්නය නිසාත් විය යුතු ය.

වසර තුනේ පුහුණුව හා වසර හතේ සමීක්ෂණය

සුමේධයේ ගුටිකෑමේ සමීක්ෂණය
තවදුරටත් අදහස් දක්වන සුමේධ "සටන් ශිල්පය ගැන මට හරිහැටි අවබෝධය ලැබුණේ 1995 පටන්. ඉන් පසුව 1998 දක්වා කාලය තුළ ශිල්පයේ අන්තර්ගත සියලුම දේ ඉගෙන ගත්තා." යයි පවසයි. රාසිං දෙයියන්ටත් අංගම්පොර ඉගෙන ගන්න වසර 7කට වැඩිය ගියත් සුමේධට නම් එය කජ්ජක් නොවී ඇති බව පෙනේ. ඔහුම මෙම ලිපියේ සඳහන් කරන පරිදි "පණ්ඩුකාභය කාලයේත් අවුරුදු හතක් සටන් පුහුණු වුණේ රිටිගල කන්දෙයි." පණ්ඩුකාභය කුමාරයාට වසර 7ක් ගියාට දැන් දැන් උගෙන ගත යුතු කාලය අඩුවී ඇති බව පෙනේ.  වසර 3න් විශ්මකර්ම ලෙස සියලුම දේ උගත් සුමේධ "ඉන් පසුව 1998 සිට 2005 තෙක් ලෝකයේ විවිධ සටන් කලාවන් පිළිබඳ අධ්‍යයනය කරන්න ඉන්දියාව, නේපාලය, බංගලාදේශය ආදී රටවල්වලට පවා" ගොස් ඇත. ‍මේක දකින අපිට නම් මේ හරකා එන්නේ පොල් පැලයට බව පෙනේ.  එනම් අපි විසින් මින් පෙර සුමේධට කරන ලද "වඩගාර් කලරි මඩුවකින් කලරි ඉගෙන ගැනීම" නම් චෝදනාවට හීන් නූලෙන් උත්තරයක් දීමට සුමේධ පැමිණෙන බවයි. නමුත් මෙවරත් සුමේධ කෙටුවේ කෙසෙල් ගසකට බව ඔහු නොදන්නවා විය යුතු ය. මන්ද එම වීඩියෝවේ විනාඩි 1 යි තත්පර 3දී (1.03) දී සුමේධ පසුබිමේ සිටියදී පහත කෙළවරින් වැටෙනුයේ 2005 India, Vadagar යනුවෙනි. ඇත්තය. සුමේධට පිණුම් ගහන්න පුරුදු කිරීමට වඩගාර් පුරුදු කරන්නේ 2005දී ය. 

සැබෑ ලෙසම සිද්ධ වූයේ නම් සුමේධට පර්යේෂණ කාලය අඩු කිරීමට නොහැකි වීමයි. එයට හේතුව ඉහත වීඩියෝවේ කාලය සඳහන් වීමයි. ඒ අතර උගත් කාල වැඩි කිරීමටද නොහැකි ය. මන්ද 1998 වන විටත් සුමේධ වූෂූ අත‍හැර අංගම්පොර පටන් ගෙන ය. පර්යේෂණයේ දී අපි කරනුයේ අධ්‍යයනයක් මිස පුහුණු වීම් හෝ ගුටි කෑම් නොවේ.  අනෙක් කරුණ වන්නේ වසර තුනෙක් අංගම්පොර ඉගෙන ගත් සුමේධට පර්යේෂණයට වසර 7ක් ගතවේ. මෙම කාල නිර්ණයට අනුව පර්යේෂණය කුමක් ද ඉගෙන ගැනීම කුමක්ද යයි වැටහේ. සාමාන්‍යයෙන් තම ජීවිත කාලයෙන් අඩකටත් වඩා ගතවන අංගම් ශිල්පයේ අධ්‍යයනය යසෝ මැණිකේ ජයනෙත්ති සුමේධට වසර 3කින් ඉගැන්වූයේ සුමේධ රාත්‍රී කාලයේදී ජයනෙත්තිගේ නිවසේ රැඳී සිටි නිසා විය යුතු ය. දිවා රාත්‍රී පුහුණුවක් නිසා එය එම වසර තුන, හයක් ලෙස සැලකිය හැකි ය. ‍


ගාමණී චිත්‍රපටය

කලරි සටන්වල භාවිතා වන මන්නා
පිහියක් අතින් ගත් සුමේධ
ඉහත මා සඳහන් කළ රිවිර ලිපියේ දී සුමේධ "ගාමනී චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රියර් අද්මිරාල් සරත් වීරසේක මහතාව මට මුණ ගැසුණේ 2007 වසරේදීයි" යයි ප්‍රකාශ කරන අතරම කියනුයේ "සරත් වීරසේකර මහතා චිත්‍රපටයට මාව තෝරා ගන්න කලින් අංගම්පොර ගැන දන්න අය ගැන හොයන්න රට වටේටම කණ්ඩායම් යවලා තිබුණා. ඒකෙන් පස්සේ අංගම්පොර සටන් කලාවට සම්බන්ධ බව කියන කණ්ඩායම් ගැන සොයා බලා තිබුණා. අවසානයේ අංගම් සටන් කලාවට උරුමකම් කියන රිටිගල අගංම් පරපුරේ අපට ඒ අවස්ථාව ලැබුණා." කියා ය. මේක දැක්කම අපට මතක් වන්නේ කරුණාපාල නම් අංගම් චෞරයාගේ කුහුඹු පැණියාගේ තීන්දුවයි. 2007දී තමන්ව දන්නා අධ්‍යක්ෂක 2011 දී නැවතත් අංගම්පොර ශිල්පීන් හොයන්නේ සුමේධ ගැන ඇති සැකයක් නිසා හෝ සුමේධ නොදන්නා බව දන්නා නිසා විය යුතු ය. කෙසේ වෙතත් කවුරුත් හොයාගන්න බැරි වුණ තැන නොදන්න දෙවතාවාට වඩා දන්න යකා හොඳයි කියා අද්මිරාල් සුමේධටම අවස්ථා දුන්නා විය යුතු ය.  කොහොම වුණත් කරුණාපාලව කොපි කරන්නට ගොස් සුමේධ ඇණ ගත්තාදෝ සැක සිතේ.

ගාමනී චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය කළා යයි සුමේධ මාධ්‍යවලින් නොකියන්නට චිත්‍රපටය බලන ලද අයෙකුට නම් එවැන්නක් නොදැනේ. මන්ද චිත්‍රපටයට ප්‍රථම යන නම් ලැයිස්තුවේ සුමේධයේ නම ඇත්තේ රංගන ශිල්යෙක් ලෙස මිස සටන් අධ්‍යක්ෂණය රිටිගල සුමේධ යයි දන්නේ සඳහන් වන්නේ නැත. ඒ අතින් බල විට සුමේධ සටන් අධ්‍යක්ෂණය කළා යයි මාධ්‍යවලට ප්‍රථමයෙන්ම කීවේ හොඳ වෙලාවටය. නැතිනම් අපි ඒක දන්නේත් නැත. මෙයට අමතරව අංගම් හෝ අංගම්පොර යන වචනය මුළු චිත්‍රපටය පුරාවට කියවෙන්නේ නැත. කවුරුන්හෝ මේකේ තිබෙන්නේ කලරි හෝ චීනඩි යයි කිවහොත් කටඋත්තර නැති වෙනවා හැර වෙන කිසිඳු දෙයක් වන්නේ ද නැත. බොටමක් හා ටී සර්ට් එකක් ඇඳගෙන කරන සටන් මිස එහි අංගම් ශාස්ත්‍රයට අදාල ඇඳුමක් හෝ සිරිතක් හෝ භාවිතා නොවීමද මෙයට තව තවත් දෙස් දෙයි.

ව්‍යාපාරික හා දේශපාලනික මුහුණුවර

දෙමළ චිත්‍රපටයක නළුවකු සිහිගන්වන
සුමේධ ඇතුළ නළු නිලියෝ
චිත්‍රපටයක් හා වාර්තා චිත්‍රපටයක් අතර ඇත්තේ සුවිශාල වෙනසකි. ඒ වගේම වෙනසක් නිර්ව්‍යාජ චිත්‍රපටයක් තුළ හා යම් දේශපාලනික හෝ ව්‍යාපාරක් සමාජගත කිරීම උදෙසා කරන චිත්‍රපටයකද ඇත. ගාමනී චිත්‍රපටයට වඩාත්ම ගැලපෙන අර්ථකථනය නම් දෙදෙනෙකුගේ ව්‍යාපාරික හා දේශපාලනික අරමුණු සමාජගත කිරීම උදෙසා කරන ලද වාර්තාමය චිත්‍රපටයකි. අද්මිරාල් දැන් දැන් අද්මිරාල්කම පසෙකලා උදර කෝෂය වර්ධනය කර ගැනීමට ලංකාවේ ඇති ලේසිම හා පහසුම ක්‍රමය වන දේශපාලනය තෝරාගෙන හමාරය. තමන් අතීතයේ කළ කාර්යයක් සමාජ ගත කොට ඊළඟ චන්දයේදී චන්ද ටිකක් වැඩිකර ගන්නට දේශපාලන අරමුණක් ඇති අද්මිරාල්ට මේක හොඳ පැණි වදයකි. අනෙක් අතින් හන්දියක් හන්දියක් ගානේ අංගම්පොර පන්ති පවත්වා තමන්ගේ බඩ වඩා ගැනීමට බලාගෙන සිටි සුමේධට මේය හොඳ ව්‍යාපාරික මූල බීජයකි. ඒ නිසාවෙන්ම ලංකාවේ පළමු වතාවට චිත්‍රපටයක් තුළ තමන්ගේ ව්‍යාපාරික නාමයෙන් රඟපෑමේදීම සුමේධට අවස්ථාව උදාවී ඇත. කොහොම වුණත් අද්මිරාල් බදාගෙන කෑම පසෙකලා බෙදාගෙන කන්නට හෝ පුරුදු වී සිටීම ලංකා දේශපාලයේ ප්‍රවණතාවක් ලෙසද සැලකිය හැකි ය. එය වඩාත්ම පැහැදිලි වන තවත් තැනක් වන්නේ මෙම චිත්‍රපටය සම්බන්ධව ප්‍රසිද්ධ කරන ලද බැනර් හා කටවුට් සඳහා භාවිතා කර තිබූ සුමේධගේ පින්තූරය චිත්‍රපටයේ එකදු රූප රාමුවක වත් දක්නට නොලැබීමයි. එනම් බැනර් මගින් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට අද්මිරාල් සුමේධට බලපත්‍ර දී ඇත. කෙසේ වෙතත් ආණ්ඩුව මුළු යුද්ධයම විකුණාගෙන කන විට අද්මිරාල් යුද්ධයේ පොඩි කෑල්ලක් විකුණාගෙන කෑමේදී සුමේධ සමඟ බෙදා හදාගෙන කෑමට තීරණය කිරීම ගැන සුමේධ අද්මිරාල්ට දණ ගසා වැඳිය යුතුය.

නළුවකු හා සටන්කරුවකු අතර ඇති වෙනස

එක් අතකට සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා යයි සුද්දන් කීවේ කටකහනවට නොවේ. දඬුබස්නාමානය චිත්‍රපටයේ රඟපෑ කුන්ෆූ ශිල්පී සේනක විජේසිංහ අංගම්පොර දන්නවා යයි සිතා ඔහුගේ අංගම්පොර පන්ති වලට ගිය අපේ මුග්ධ තරුණයා එයින් මට්ටු වී නුවර වැව රවුමේදී සේනකට බිම දාගෙන එදා තඩිබෑවා අපිට මතකය. ඒ මතකය යාන්තමට අමතක වුණා පමණි තරුණයා අද වූෂූ හා කලරි ශිල්පී සුමේධයේ අංගම්පොර පන්ති වලට යාමට පෙළ ගැසී සිටිති. ප්‍රභාකරන් ද කීවේ ඕකමය. සිංහලයාට මතක තියෙන්නේ සති දෙකයි. රඟපෑමේදී එක් දර්ශනයක් පටිගත කිරීමට දහ පාරක් හෝ උත්සාහ කොට සිදු කළ හැකි ය. සුමේධට පුළුවන් එකම පිණුම සුමේධ භාවිතා කොට ඇති චිත්‍රපටය බලා අද තරුණයා පැනුම් පිණුම් ශාස්ත්‍රය සුමේධගෙන් බලාපොරොත්තු වෙනවා විය යුතු ය. කොහොම වුණත් සුමේධ ඉන්දියාවේ වඩගාර් කලරි මඩුවෙන් එදා වතුරට පනිමින් පිණුම් පුහුණු වනවා අපි දැක්කෙමු. කෙසේවෙතත් සුමේධගේ කලරි ගුරුවරයා අද සතුටු වෙනවා ඇත. මන්ද ඔහු ඉගැන්වූ පිණුමක් දැන් ලංකාවේ චිත්‍රපටයකද තිබෙන බැවිණි. ග්‍රේෂනුත් තමන් චිත්‍රපටයක රඟපෑ බව කියයි. සුමේධත් දැන් ඒකම කර පෙන්වා ඇත. චිත්‍රපටයක් රඟපෑ පමණින් ඔහුට සටන් හැකියාවක් ඇතැයි හෝ ඔහු සටන් උගැන්වීමට දන්නේ යයි හෝ උපකල්පනයකට පැමිණීම කොතරම් නුවණට හුරු යයි සිතීමටද අපි ප්‍රේක්ෂකයාට භාර කරමු.